අවසන් දිනය

කවදා හෝ දිනක අහස්ද පොළොවද චන්ද්‍රයාද සූර්යයාද අනෙකුත් ග්‍රහලෝකද මිහිපිට ජීවත් වන මිනිස් වර්ගයාද එමෙන්ම සියලු ජීවීන් සහ තුරුලතාන්ද විනාශයට පත් කරවන අල්ලාහ්ටම සියලු පැසසුම් හිමිය. ඔහු බලසම්පන්නකු හා සියල්ල අබිබවන්නකු ද වේ.

අවසාන දේවදූතයාණන් වන මුහම්මද් නබි (සල්) තුමාණන් හට ද මෙතුමාණන්ට පසුව ‘කිසිදු නබිවරයකු පැමිණෙන්නේ නැතැ’යි යන විශ්වාසයෙහි ස්ථිරව පසුවෙමින් මෙතුමාණන් ව අනුගමනය කළවුන් හට ද එමෙන්ම එතුමාණන්ව අනුගමනය කරමින් පසුවන්නන් හට ද විනිශ්චය දිනයේ අධිපතියා වන අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!

යුගාන්තය, අවසාන දිනය, පරමාන්ත දිනය, ලෝකාවසාන දිනය සහ ‘සූර්’ හෙවත් හොරනෑව පිඹිනු ලබන දිනය යනාදී වශයෙන් මුස්ලිම්වරුන් වන අපි දැනුවත්ව සිටින්නා වූ ද එකී දිනයට පෙර හටගනු ඇතැ යි පාරිශුද්ධ කුර්-ආනය සහ සම්මත හදීසයන් හි පමණක්ම ප්‍රකාශ වන පෙරනිමිති පිළිබඳ ගොනු කරනු ලැබූ සියල්ල ලිපියක් ලෙස ඔබ අතට පත් කරන්නෙමු. (අල්හම්දු ලිල්ලාහ්)

මුස්ලිම්වරු කරුණු හයක් පිළිබඳ ව විශ්වාස කිරීම අනිවාර්ය වේ.

1. අල්ලාහ් ගැන විශ්වාස කිරීම.
2. මලාඉකාවරු (සුරදූතවරු) ගැන විශ්වාස කිරීම.
3. පහළ කරන ලද ධර්ම ග්‍රන්ථ ගැන විශ්වාස කිරීම.
4. දේවදූතවරු (නබිවරු) ගැන විශ්වාස කිරීම.
5. පරමානත දිනය ගැන විශ්වාස කිරීම.
6. දෛවය ගැන විශ්වාස කිරීම.
“මෙලොව යම් දිනක විනාශයට පත් කරනු ලබයි. එසේ මුළුමනින්ම විනාශ කළ පසු සියලුම මනුෂ්‍යයන් නැවත පණ පොවා නැගිටවනු ලබති. එවිට දෙවියන් සියලු දෙනාගේම ක්‍රියා කලාපය විමසා බලා යහපත් අය ස්වර්ගයට ද අයහපත් අය නිරයට ද යවනු ඇත” යන්න අප විශ්වාස කළ යුතු ව තිබෙන කරුණු අතුරින් එකකි.

ඉහත සඳහන් කළ පරිදි විශ්වාස කිරීම පරමාන්ත දිනය විශ්වාස කිරීම ලෙස හඳුන්වනු ලැබේ. මෙම විශ්වාසය ඉස්ලාම් දහමේ මූලික පදනම වේ.

මෙසේ සාධාරණය ඉටුකරන බලගතු දිනයක් මිනිසාට අවශ්‍ය බව සෑම මිනිසෙකුගේම යටි හදවත තුළ ජනිත වී ඇති බවට සැක නැත. මන්දයත් මෙලොව ඉතා ධාර්මිෂ්ඨව අවංකව හා සාධාරණ ලෙස ජීවත් වන යහපත් පුද්ගලයකු ලොව දුක් විඳිනු අප කොතෙකුත් දකින්නෙමු. එමෙන්ම ඔහුගේ දැහැමි දිවියට හිමි සුව පහසු ජීවිතයක් ඔහුට මෙලොවේ නොලැබී යන අවස්ථා බොහෝ දැකිය හැකිය.

එසේම අසාධාරණ හා වංක ජීවිතයක් ගත කරමින් සිටින අධර්මිෂ්ඨ පුද්ගලයකු මෙලොවේ ඔහුට කිසිසේත් ලැබිය නොයුතු සුඛෝපභෝගී ධන කුවේර ජීවිතයක් ගත කරනු ද අපි බොහෝ සෙයින් දකින්නෙමු. මෙනයින් බලන විට මේ දෙයකාර පුද්ගලයන් අතර සධාරණයක් ඉටු නොවුනු බව අපට පැහැදිලිව ම පෙනේ.

ලොව ඇති උපරිම දණ්ඩ නීතිය සමහර විටෙක එක් පුද්ගලයකු කළ සියලු පාපයන්ට ප්‍රමාණවත් නොවන බව අප සුලභව දකින්නෙමු. එය මෙලොව නිසියාකාර ඉටු කිරීමට ද නොහැක. එසේ නම් “මේ සඳහා සාධාරණය ඉටු වන්නේ කොතැන ද? කා විසින් ද? එවැන්නක් කොතැනකවත් ඉටු නොවේය” යන විශ්වාසය “යහපත් ජීවිතයක් ගත කිරීම මිනිසාට නිෂ්ඵල කරුණක්” යන භයානක අදහසක් මිනිස් සිත් තුළ උදා වේ. එසේම බලයෙන් නිලයෙන් අසාධාරණකම් කරමින් වස්තුව රැස් කිරීම පිළිබඳ බිය සැක නැති කරන විනාශකාරී තත්වයක් ඇති කරයි.

තවද කිසිවෙකු නොදකින විටෙක පාපයන් කිරීමට ද මිනිසා පෙලඹේ. මෙවැනි වූ භයානක මානසිකත්වයකින් මිනිසා මිදීමට නම් ඉතා බලගතු අයෙකු විසින් සූක්ෂම ලෙස නඩු විමසන අවසාන තීන්දු දිනයක් සහ එම තීන්දු අනුව ලැබෙන දඩුවම් හා ත්‍යාගයන් පිළිබඳ විශ්වාසයක් මිනිසා තුළ තිබිය යුතු ය.

‘ඉස්ලාම් දහම’ අවසාන දිනය පිළිබඳ විශ්වාසය නිර්දේශ කොට ඇත්තේ එහෙයිනි. ඉස්ලාම් දහමේ අවවාදය වනුයේ එදින අපේ ක්‍රියා වල ප්‍රතිවිපාක අත්විඳීමට සිදු විය යුතුමය යන්නයි.

එම (අවසාන) දිනය සමීපව ඇත!
එම දිනය පැමිණෙන්නේ කවදා දැයි යන්න දෙවියන් නොකීවද එය ඉතා ඉක්මනින් පැමිණේ යැයි පාරිශුද්ධ කුර්-ආනය මගින් සඳහන් කරයි.

“ආසන්නයේ පවතින වේදනාවක් පිළිබඳ ව අපි ඔබට අවවාද කරමු. ‘මම පස් බවට පත් විය යුතු නොවේ දැයි’ (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නා ප්‍රකාශ කරන්නේය.” (අල්-කුරාන් 78:40)

“ඔවුහු එය දුරස්ථව දකිති. නමුත් අපි සමීපව පවතින දෙයක් වශයෙන් දකිමු.” (අල්-කුරාන් 70:6,7)

“සැබෑ පොරොන්දුව ළං විය. (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන්ගේ බැල්ම පහත හෙළී තිබෙනු ඇත. ‘අපට විනාශයක්ම ය. අපි මේ ගැන නොසැලකිලිමත් ව සිටියෙමු. නැත්! අපි අපරාධ කළෙමු’ (යැයි කියන්නෝය).” (අල්-කුරාන් 21:97)

“අප නැවත මවන්නේ කවරෙක් දැයි ඔවුහු අසති, පළමු වර නුඹලා මැව්වේ කවරෙක් දැයි අසන්න! නුඹ වෙත තමන්ගේ හිස් ඇල කොට ‘එය පැමිණෙන්නේ කවදා දැයි අසති. ‘එය සමීපයේ පැමිණිය හැකි’ යැයි කියන්න!” (අල්-කුරාන් 17:51)

“අහස් හා පොළොවෙහි පාලනය ද ඔහු මවා තිබෙන සෙසු දේවල් ද ඔවුන්ගේ කාල සීමාව සමීපයේ තිබිය හැකි බව ද ඔවුහු නොසැලකුවෝ ද? මින් පසු ඔවුන් විශ්වාස කිරීමට යන්නේ කුමන පුවතක් ද?” (අල්-කුරාන් 7:185)

එම දිනය ඉතා සමීපව පැමිණෙනු ඇතැ යි අල්ලාහු තආලා වසර 1400 කට පෙර දැන්වුව ද මෙතෙක් එය උදා නොවුයේ මන්දැ යි සමහරුන්ට සැක පහළ විය හැක.

මෙය අප හරියාකාර ව අවබෝධ කර ගත යුතු යි.

මෙලොව මවා වසර මිලියන ගණනක් ගත වී හමාරය. ගත වූ වසර මිලියන ගණනක් සමග සැසඳීමේ දී වසර 1400ක් යනු සුළු කාල සීමාවකි. තවත් වසර දාහක් ගත වී පරමාන්ත දිනය පැමිණියත් “එය සමීපව ඇත” යන දැනුම දීමට එය කිසිසේත් පටහැනි නොවේ.